ලංගම බස් රථයක් සමග තරගයට ධාවනය කරන අතරතුර ලංගම බස් රථය පසුකර යෑමට උත්සාහ කිරීමේ දී මඟීන් හත් දෙනකුට මරුකැඳවමින් තවත් 25 දෙනකු ආබාධිත තත්වයට පත්කරමින් පුත්තලම මදුරන්කුලිය ප්රදේශයේ බෝක්කුවකින් පහළට පෙරළීමේ පෞද්ගලික බස්රථ අනතුරේ රියැදුරුට වසර 13 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද නියම කළා. ඒ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින්. එමෙන්නම රුපියල් 55,800/-ක දඩයකටද ඔහු යටත් කර තිබෙනවා.
පුත්තලම මදුරන්කුලිය ප්රදේශයේදී මීට වසර 07කට පෙර මෙම අනතුර සිදුවී ඇත්තේ කොළඹ සිට මන්නාරම දක්වා බසය ධාවනය කළ විත්තිකාර පෞද්ගලික බස්රථ රියදුරුගේ නොසැලකිල්ල නිසා බවට තීරණය කළ විනිසුරුවරිය සියලු චෝදනාවලට විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළා.
එලෙස දඬුවම් නියම කරන ලද්දේ අනතුරට පත් පෞද්ගලික බස් රථයේ රියැදුරු වූ මොහොමඩ් ජිප්රි මොහොමඩ් වාහිල් (38) නමැති සිව්දරු පියකුටයි.
2017 නොවැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුන්දලම මදුරන්කුලිය ප්රදේශයේදී කොළඹ සිට මන්නාරම් දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කරමින් නොසැලකිලිමත් අන්දමින් අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය කරමින් මදුරන්කුලිය 10 කණුව ප්රදේශය ආසන්නයේදී බසය අනතුරකට ලක් කළ බවට විත්තිකරුට එරෙහිව මුන්දලම පොලිසීයේ රථ වාහන අංශය නඩු පවරා තිබුණා.
පෞද්ගලික බස් රථය අනතුරට ලක් කර එහි ගමන් කරමින් සිටි හත් දෙනකුගේ මරණ සිදු කිරීම හා තවත් 25 දෙනකුට බරපතළ තුවාල කිරීම ඇතුළු චෝදනා ද මුන්දලම පොලිසීයේ රථ වාහන අංශය විත්තිකරුට එරෙහිව ගොනු කර ඇත.