දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව වාර්තාවේ.
කෙසේවෙතත් අප” කළ විමසීමක දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
කෙසේවෙතත් එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මේ වන තෙක් තමන් නොදන්නා බව “අප” කළ විමසීමක දී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාව දැනුවත් කර ඇති බවයි.
මේ අතර අද උදෑසන කාර්යාල දුම්රිය 47ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ, අද උදෑසන කාර්යාල දුම්රිය 20ක් ධාවනය නොවන බවයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 07ක් ධාවනය කෙරෙන අතර දුරගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.